ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 10 June 2011

ෆෙංෂුයි ලාෆින් බුද්ධ සිනාසෙන්නේ ඔබටමය


මේ දවස්වල් ගොඩාක් දෙනෙක් ෆෙන්ෂුයි ගෑන උනන්දුවක් දක්වන බවක් පෙන්න තියෙනවා. ඔනෑම කඩයකට ගියොත් හිනාවේගෙන ඉන්න බඩ ලොකු පිලිමයක් කාසි ගොඩක් උඩ තියෙනවා දෑක ගන්න ලෑබිම සුලබ දෙයක් බවට පත්වෙලා.. මේ පිලිබදව ලියපු අපුරු ලිපියක් රාවය පුවත් පතේ පල වෙලා තියෙනවා.. මේ ලිපිය කියවලාම බලන්න..

සෑම කෙනෙක්ම ජීවිතයක් ගතකරමින් සිටී. ඒ එක දෙයක් සොයමිනි. කොහොමද දුක් පීඩාව අහක් කරන්නෙ. කොහොමද සංතෝෂය, පී්‍රතිය ඇතිව උපරිම සැප සම්පතින් යුත් දිවියක් ගෙවන්නෙ. මේ සඳහා මිනිසුන් කරන නොකරන දෙයක් නැත. කෙනෙක් දාබිඳු හෙළමින් අනන්ත කැපකිරීම් කොට ලබා ගන්නට වෙහෙසෙන දේ තවකෙක් වැඩිපුර නොවෙහෙසි ලබයි. කෙනෙක් මොන දේ කළ ද ප්‍රගතියක් නැත්තේය. එසේ නම් වැරදුණේ කොතැනද? මුදුනට ළඟා වීම පිනෙහිම ආදීනව නම් වැරදුණේ පව නිසාම ද? මේ පව්කාරකම්වලට කෙළවරක් නැද්ද?
නිකවැරටිය -
කාලයක් නිකවැරටියට මිනිස්සු සුනාමියක් මෙන් ගහගෙන ගියෝය. බෝ ගසක උපන් රූප තමන්ගේ ඉහත බලාපොරොත්තු සියල්ල සඵල කරාවියැයි පව උරුම වූ සැම සිතූහ. එතෙක් පැවති දුක් ගොඩට සරලව බෝ ගහක් පිහිට වන්නේ නම් සරල නැඟීසිටීම යෙහෙකැයි සිතු සැම නිකවැරටි ගිය අතර ඉන්පසු ලද සුළු අස්වැසිල්ල හෝ එකී පිහිටෙන් ලැබුවායැයි අදහන්නටද සැදී පැහැදි සිිටියෝ ය. ඔවුහු අදටත් එහි අපුලක් නොදකිනවා විය හැකි ය.
කාලයත් සමග නිකවැරටි ගමන අබල දුබල විය. එහි තිබුණායැයි කී බලය අතුරුදන් විය. බලය වුව හැමදා නොරැඳෙන එකක් බව බෝ ගස වුව පසක් කළේ ය. එදා පොරකමින් බැලූ බෝගස අද කාක් බෝ ගසක් තරම් නොවටී. නිකවැරටිය මතකයක්ව ඉතිරිවද්දී එහි ගිය බහුතරයක් වූ ජනයාගේ ගැටලු ද නොවිසඳුම් ව බෝ ගස මෙන්ම අටුවම් බැස තිබුණි.
දොළුකන්ද
අහවර නොවන බලාපොරොත්තු ඇතුලේ තමා එල්ලී සිටින අත්තක් ගිලිහුණද එයින් එතරම් කම්පා නොවන මිනිසුන් ඒ ක්ෂණිකයෙන් තවත් අත්තක් අල්ලා ගන්නේ නිමේෂයෙනි. එවන් අල්ල පනල්ලක දොළුකන්දේ ආශ්චර්යමත් භික්ෂුවක් පහළ වූහ.
බලාපොරොත්තුවලින්ම දිවි ගෙවන මිනිසුන්ට තවත් බලාපොරොත්තුවක් දැල්වුණි. ජීවම් කළ පිරිත් නූලට මෙවර තම පැතුම් ඉටු කළ හැකි යැයි සිතූ මිනිසුන් වැල නොකැඩී දොළුකන්ද තරණය කළෝ ය. කාලයත් සමග දොළුකන්දේ ගුප්ත කමද පහව ගියේ දොළුකන්ද ප්‍රදේශයේද අලුත් ප්‍රශ්න නිර්මාණය කරමිනි.
එකල දොළුකන්දෙන් අනන්ත ජීවයක් ලද්දායැයි විශ්වාස කළ වුන් එමට සිටියෝය. ඉහත ස්ථාන දෙකට නොගිය පිරිස් අතළොස්සක් සිටිය හැකි ය. නමුත් මේ තැන් දෙකටම ගිය එකම පිරිස නම් ඉහළ බව සහතිකය. එකල මේවාට විරුද්ධව කතා කිරීම පවා දෙවියන් නොව ඊට ඇලී ගැලී සිටිවුන්ගේ දෝෂයට ලක්විය හැකි සාපයකි. සාපයකි.
ඔබ කතරගම විශ්වාස කරන අයෙක් විය හැකි ය. එහෙත් ඔබ නිකවැරටියටත් දොළුකන්දටත් ගොස් ඇත. පන්සලටත්, පල්ලියටත්, කෝවිලටත් යන මිනිසුන්ට අවැසි කොතැනින් හෝ ගැලවිල්ලය. ඒ ආගමික අදහසින් නොව අප මුලින් සඳහන් කළ සැපවත් සැනසිල්ලය. එය පෘතඃජනයන් ලෙස සාමාන්‍යය. රැවටිල්ල සැනසිල්ලක් නම් සැනසිල්ලම රැවටිල්ල නොවන්නේ ද?
ප්‍රශ්නවලට ආගමක්, ජාතියක් නැත. බඩගින්නට පන්සලට, පල්ලියට, කෝවිලට කළ හැකි දෙයක් නැත. එහෙත් ගැලවිල්ල ඒ තුළ වේ යැයි සිතේ නම් බඩගින්නේ ඉඳ වුව ඊට කළ යුතු දේ කරන්නවුන් අපමණය.
රහස්
මැරෙන්න යන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙනවා යන්න අපේ පැරණි කියමනකි. සැබැවින්ම මිනිසුන් එලෙස කොතෙක් නම් පිදුරු ගස්වල එල්ලී ඇද්ද ඇතැම් විට ඒ පිදුරු ගස් තම දිවි රැක ගත්තායි විශ්වාසයේ ගිලෙනවුන් කොතෙක් වෙත් ද මේ අතරට පිවිස ඇති අලුත්ම පිදුරු ගස ෆෙංෂුයි රහස්ය.
අපිද මීට පෙර නිකවැරටියට මෙන්ම දොළුකන්දට ගොස් ඇත්තෙමු. ඒ මෙහි වන්නේ අවුලක් බව කියන්නටය.
රටේ ප්‍රසිද්ධ ෆෙංෂුයි ගුරුවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගේ ෆෙංෂුයි අලෙවි සැලට මම රිංගුවෙමි. මාස්ටර් එහි නොවීය. මාස්ටර් ආවට ගියාට හමුවිය නොහැකි බව මම දුරකථනයෙන් තහවුරු කොට ගෙන සිටියෙමි. අලෙවි සැලක් වුව මාගේ පැමිණීම ප්‍රශ්න කරන ස්වභාවයක් එහි විය. එය ඔවුන්ගේ වෙළඳ උපක්‍රමයක් බව මට වැටහුණි. ෆෙංෂුයි ගැන ආධුනිකයෙකු නම් ඔහු එයට අල්ලා ගැනීම ප්‍රශ්න කිරීමේ කලාව තුළ අරමුණය. ෆෙංෂුයි ගැන මඳක් විමසූ මම මේ රූප තබා ගැනීමෙන් නියම ප්‍රතිඵල ලබා ගත හැකිදැයි විමසුවෙමි. ඒ තුළම මා පිළිබිඹු කරන්නේ අවිශ්වාසය බවත් මුලින්ම ෆෙංෂුයි කෙරෙහි විශ්වාසය තබාගෙන කරන කියන දෑ ආරම්භ කළ යුතු බවත් එහි සිටි කාන්තාවක් මා දැනුවත් කළා ය. මා දෙස බලමින් මට සිනාසෙන තඩි බඩ ගෙඩිය ඇති ලාෆින් බුද්ධාගේ රූප එක එක ප්‍රමාණයෙනි. කොටින්ම හැම තැනමය. මටත් සිනා සී සිිටිය නොහැකි තරමට සිනහා පිරි මුහුණුය. ලාෆින් බුද්ධාගේ රූප සිල්ලර කඩවල මුදල් ගනුදෙනු කරන ලාච්චුව ආසන්නයේ ලැගුම් ගෙන සිටිනුයේ සිල්ලර කාසි උඩය. මේ රූපය එලෙස තබා නැති කඩ සොයා ගැනීම අපහසු තරම්ය. දියුණුයැයි සිතිය හැකි කඩයක සිට බුලත්විට කඩය දක්වා මේ ආකාරයට රූපය කෙරෙහි විශ්වාස කරති. මෙහි නියම පිළිවෙත විමසූ විට මාස්ටර්ගෙන් පුහුණුව ලද තරුණිය පැවසුවේ එහි ගුණ ලබන්නට නම් නියම ස්ථානයකින් එම රූපය ගත යුතු බවය. කොටින්ම තමන්ගේ වැනි ෆෙංෂුයි මධ්‍යස්ථානයකින්ම එම රූපය ගත යුතු බවය.
ලාෆින් බුද්ධා
ලාෆින් බුද්ධ ප්‍රතිමා පේව්මන්ට් එකේ විකුණන බවත්, වාහනවලින් ගෙනවිත් පාරක් අයිනේ නවතා විකුණන බවත් එවැනි රූපවල කිසිදු වටිනාකමක් නැති බවත් එම තරුණියගේ අදහසය. එයට හේතුව එම රූපය එවැනි තැන්වල තැබීම හරහා එහි බලය අතුරුදන්ව යන බැවිනි. ෆෙංෂුයි මධ්‍යස්ථානවල ඇති ප්‍රතිමාවල ආරක්ෂාව මාස්ටර්ගේ භාවිතාව හරහා සිදුකර ඇති බවට ඇය සහතිකයක් දුන් අතර ආගමික ස්ථාන අසල ඇති ප්‍රතිමා කුමන හෝ හේතුවකටවත් නොගත යුතු බව පැවසීය. එයට හේතුව ෆෙංෂුයි රහස් ආගමික ස්ථානවලට විරුද්ධ වීමය. ආගමික ස්ථාන කරා යන බොහෝ අය ප්‍රශ්න කරගසා ඒවාට විසඳුම් සඳහා යන බැවින් එවැනි තැන්වල ෆෙංෂුයි ප්‍රතිමාවලට බලයක් නැති බව ඇගේ අදහසය.
ඔවුන්ගේ වෙනත් ෆෙංෂුයි මධ්‍යස්ථානයකට ගොඩ වුණෙමි. මගේ ගැටලුව ඉදිරිපත් කළෙමි. මගේ නිවසෙහි දියුණුවක් නැති බව පැවසුවෙමි. මා කවුද ලබන වැටුප කිසිත් නොවිමසූ ඔහු නිවසේ ඉදිකිරීම්හි දෝෂ ඇති බවත් නිවසෙහි ප්ලෑනෙහි කොපියක් ගෙන ආවේ නම් දොස් පෙන්විය හැකි බවත් පැවසුවේය. එය නොමිලේ ලබාදෙන සේවයකි. එහෙත් එකී දෝෂ, නිවාරණය කරගැනීම මාස්ටර් ලවා කරගත යුතුය. ඔහු නිවෙස් කරා පැමිණෙන අතර ඊට හිමි වටිනාකම ඔහුම තීන්දු කරයි. තනි තට්ටුවක නිවසක් නම් මූලික පිරික්සීමට 10, 000ක මුදලක් අය කෙරේ. දෙමහල් නිවසක් නම් රුපියල් 20, 000කි.
ගෙවල් කැඩීම
ෆෙංෂුයි ක්‍රමයට ගෘහ නිර්මාණය කිරීම මේ දිනවල බහුලව දක්නට ඇති දසුනකි. ඊට කදිම නිදසුනක් දැක්විය හැකි ය. මේ පවුලේ දරුවෝ දෙදෙනා විරැකියාවෙන් පෙළෙයි. විරැකියාව භූමි දෝෂයක් වත් කාගේ හෝ වරදක් නොව ඔවුන් ලද අඩු අධ්‍යාපනයයි. එහෙත් මේ පවුලේ දෙමාපියන්ගේ දැඩි විශ්වාසය එය ගුප්ත බලවේගයක ප්‍රතිඵලයක් බවයි. මුලින් ඊට විසඳුම් බුද්ධාගමෙන් සෙවූ මේ පවුල නොගිය පන්සලක් නැත. නිවසේ අල්ලක් තරම් පටු මිදුලෙහි පවා විශාල බුදු මැදුරක් තනාගෙන වත් පිළිවෙත් කරන තැනට පත්වූහ. එහෙත් ප්‍රතිඵලය සුබදායක නැත. නිවසෙහි උදේ හවා ඇසෙනුයේ පිරිත්ය. එහෙත් බලයක් නොවීය. අවසන රටේ ජනපි්‍රය බුද්ධාගමේ පුරෝගාමී හිමිවරුන් නිවසට වඩමවා බැරි බැරි ගාතේ බණ කියන තැනට ප්‍රශ්නය දුරගිය මුත් සරණක් නොවීය. ඒ වෙනුවෙන් යොදන මුදල්වලද කෙළවරක් නොවීය. මේ අල්ල පනල්ලේ ඔවුන්ට ෆෙංෂුයි ගැන කන වැටුණි. ෆෙංෂුයි ක්‍රමයට නිවස පරීක්ෂා කළ ඔවුහු ඊට සරිලන ලෙස උළුවහු, ජනෙල් ගලවා තබන්නට වූහ. ෆෙංෂුයි ක්‍රමයේ සංකල්පයක් වන නිරන්තරයෙන් වතුර ගැලීමට සැලැස්වීම යහපත් බව සැලවීමත් සමග එවැනි කලයක්ද නිවෙස ඉදිරිපිට තැබිණි. පිරිත් වෙනුවට ෆෙංෂුයි සීඩී තැටි නිතර වාදනය වන්නට විය. ඔවුන් මෙය වැළඳ ගැනීමත් සමග ෆෙංෂුයි සංකේත නිවස පුරා දැක ගත හැකි සුලබ ගතියකි. ප්‍රගතිය මැනීම පසුවට කළ යුත්තකි. කිසිවෙක් මේ දිනවල ලක්ෂ ගණන් වැයකොට ඉදිකළ නිවෙස්වල දොර ජනේල ගළවා වෙනත් තැන්හි සවිකරත් නම් ඒ ෆෙංෂුයි රහස් වැළඳගත් බවට කදිම සාක්ෂියකි. අද මෙලෙස කටයුතු කරන පිරිස් බොහෝ වෙති. නිවෙස් හරහා ඔවුහු ෆෙංෂුයි සංකේතවලටද ඉබේටම හසුවෙති. ඒ යසස කීර්තිය යහමින් ලැබීමටය.
මිනිසුන් ලෙස යුගයෙන් යුගයට එන අලුත් විජ්ජාවන්ට ඇලීම, ගැලීම යෙහෙකැයි කීම වෙනුවට අද අප එය විවේචනයට බඳුන් කරනුයේ අන් කිසිවක් නිසා නොව මේ හරහා ෆෙංෂුයි මුදලාලිලා නිර්මාණය වී ඇති නිසාය. මේ ෆෙංෂුයි කලාව ව්‍යාපාරයක් කරගනිමින් කෙසේ හෝ ප්‍රීතිමත් දිවි පෙවෙතක් අපේක්ෂා කරන අයට පී්‍රතිය කෙසේ වෙතත් තම අතේ ඇති තුට්ටු දෙක ෆෙංෂුයි මුදලාලිලාට වැය කිරීමට සිදු වේ. ඇතැමෙක් ෆෙංෂුයි රහස් විකිණීමේ සක්විත්තන් වී ඇත්තාහ. මේ සඳහා ටෙලිවිෂන් මාධ්‍යය ද උපයෝගී කරගනී.
ෆෙංෂුයි
ෆෙංෂුයි යනු චීන අර්ථ ගැනීමට අනුව සුළඟ හා ජලයයි. එය ජීවත්වීම පිණිස අවැසි කරන ශක්තියයි. එකී විශ්ව බලය චීන ජාතිකයන් ෆෙංෂුයි හරහා චී බලය ලෙසට පෙන්නුම් කරන බව සැලය. ඒ අනුව ගෘහයක් තුළ චී ශක්තිය සැරිසරන ආකාරය අනුව එහි වෙසෙන මිනිසුන් සමෘද්ධිය කරා ගෙන යන බව චීනුන්ගේ පිළිගැනීමය. මුල් දොරටුවෙන් ගෙතුළට ඇතුළුවන චී බලය නිසි ලෙස පිළිගැනීමට සූදානම් නම් එකී නිවැසියන්ට අත්වන වාසනා මහිමය අසීමිත බවත් එය උදාකර දීම ෆෙංෂුයි හි කාර්ය බවත් සැලකේ. එසේ නම් බෝ ගසට පිරිත් නූලට අනාගත සැප සම්පත් ලැබීම බාර කළ මිනිසුන් ෆෙංෂුයිවලට ඒමට දොර හැරීම අරුමයක්ද චී ශක්තිය ඇතුළු වීමට බොහෝ නිවෙස්හි ද්වාර පිහිටා ඇති ක්‍රමය ෆෙංෂුයි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව අවුල්ය. නියතවම චී ශක්තියට ගෙට එන්නට උළුවස්ස වෙනස් කළ යුතුය. සදා නිම කළ නිවෙස් දඩි බිඩියේ කැඩෙන්නේ එබැවිනි. බොහෝ නිවෙස්හි ළිප පිහිටා ඇත්තේ දොරට මුහුණලා නොවේ. ෆෙංෂුයි වලට අනුව මෙය අසුබය. එබැවින් ළිප ඒ දෙසට හැරවිය යුතුය. නැතිනම් දොර ගලවා ළප දෙසට සකස් කළ යුතුය. මේ දිනවල ෆෙංෂුයි වැළඳගත් අය මේවා කිසි පැකිළීමකින් තොරව සිදු කරති. නිකවැරටියේ ගිය පිල්ලෑවේ ගිය කතරගම යන ජනයාම ෆෙංෂුයි රහස් වැළඳගෙන ඇත.
මුලින් නිවසට ඇතුළු වන මේ ෆෙංෂුයි විජ්ජාකාරයන් ඉන්පසු චීනයේ තණ කොළ ටික පවා මොවුන්ට අලෙවි කරති. මෙය අපූරු ජාවාරමකි. දරුවාගේ ඉගැනීමේ සිට රාතී්‍ර රති කි්‍රයාවලිය දක්වා ෆෙංෂුයි ගුප්ත රහස් ඇත. මිනිසුන්ගේ හිසරදයේ සිට වඳභාවය දක්වා ජිමික් ෆෙංෂුයි රහස්වල ඇත. අද වන විට ශීඝ්‍ර ලෙස මෙය බෝ කර ගන්නා ප්‍රමාණය ඉහළ යමින් සිටිති. චීනයෙත් නැති තරමට චීන අවන්හල් බිහිවූවා සේ ම ෆෙංෂුයි මධ්‍යස්ථාන ද සතර අත පවතී. මධ්‍යස්ථාන යනුවෙන් බොරු නමක් පටබැඳගත්තද මෙය හුදු සිල්ලර කඩයකට එහා නොයයි. චීනයේ දරකෝටු පවා මෙහි අලෙවි වේ. බැලූ බැල්මටම බොරු ලෝකයක් ඒ තුළ තිබුණද මිනිසුන් ඒවාට ඇබ්බැහි වී ඇත. මේවායෙන් මුදා ගැනීම කිසිවෙකුට අදාළ නැති කරුණුය. සක්විති, දඬුවම් මෙන්ම දළුවත්ත වැනි තක්කඩියන් කළ දේ ම වෙනස් අයුරකින් ෆෙංෂුයි මුදලාලිලා කරති. මෙයට පේටන්ට් අයිතිය ගැනීමට නියම ෆෙංෂුයි තමන්යැයි කීමට අප සොයා බැලූ කිහිප දෙනෙකු දඟලති. මෙය කරන අය මාස්ටර්ලාය. ගැහැනු මාස්ටර්ලාද සිටිති. එහෙත් සත්‍ය වශයෙන්ම මේ නම් රැවැට්ටීමට මාස්ටර්ලාය. පර්ස් එකේ තුට්ටු දෙකට විදීමේ සාත්තරය දන්නා සූත්තරකාරයන්ය. ලාෆින් බුද්ධ ප්‍රතිමාව නිවෙස්වලට වෙළඳ ස්ථානවලට ගෙන ගිය ඔබට ඇත්තටම සුබද ඔබ නොදන්නවා වුවද ලාෆින් බුද්ධ සිනා වෙන්නේ ඔබටමය. ෆෙංෂුයි හරහා ධනවත් වන්නේ ෆෙංෂුයි මුදලාලිලාය. ඔබ තවදුරටත් ඔවුන් තර කරනවාද ඉගෙනීමට පන්තියේ පළමුවැනියා වන්න, විභාගයකින් උපරිම ලකුණු ගන්න, ගෙදර අධ්‍යාපන යෝග අල්ලන ගැමි ෆෙංෂුයි මුදලාලිගේ දේශනවලින් උගත හැටිය. මේ එකී සරල ඉගැන්වීම්ය.
• අධ්‍යාපන වාසනාව සහ මතක ශක්තිය වැඩි කර ගැනීමට ගුප්ත සංගීතය භාවිත කරන ආකාරය. (සීඩී තැටි ඔවුන් සතුය. ඒවා මිලදී ගත යුතුය. රු. 500) • මතක ශක්තිය වැඩි කිරීම පළිඟු යෙදීමේ රහස් • විභාග ශාලාවේ දී අන් අයට හොරෙන් ෆෙංෂුයි මුද්ද කරකැවීමේ ක්‍රම සහ විභාග ජය ගැනීමට ෆෙංෂුයි මුද්ද යෙදීමේ ක්‍රම - මුද්ද 1000කි. ) • ශී්‍ර ලංකාවේ සිසුන් තිස්දහසක් විභාගවලදී හොරෙන් පාවිච්චි කරන විභාග තාඕ යන්ත්‍රය ගැන රහස්. • පාඩම් කිරීම සඳහා නිවසේ සුබම තැන් දෙක සොයා දීම. (මේ සියල්ල දැන ගැනීමට ෆෙංෂුයි අධ්‍යාපන දේශනවලට යා යුතුය. දේශන සඳහා ටිකට් පත් 500 - 1000 - 1500 වැනි මුදලට තිබේ. )
ෆෙංෂුයි සංකේත
ෆෙංෂුයි සංකේත මහ ගොඩකි. ලාෆින් කුබේරන් හෙවත් ලාෆින් බුද්ධගේ ප්‍රතිමා, චීන කාසී තුන (අපේක්ෂිත අරමුණ ධනය ලැබීම) කකුල් තුනේ ගෙම්බා (ධන වාසි. රුපියල් 200 සිට 4500 දක්වා මුදලට විවිධ ප්‍රමාණයෙන් ඇත. ) චීන රිදී සීනුව (පවුලේ සාමයට රු. 500) ඩබල් හැපිනස් තාරා ජෝඩුව (අඹුසැමි සාමයට - රු. 200 සිට 2000 දක්වා) චීන මැජික් මුද්ද - අධ්‍යාපනයට පළිගු බෝලය, රුවල් නැව මේ ආකාරයට විවිධ සංකේත 200ක් පමණ ඇත. ලාෆින් බුද්ධගේ විවිධ ප්‍රමාණයේ ප්‍රතිමා රු. 100 සිට 25, 000 දක්වා පවතී. 25, 000 පිළිම අති විශේෂ ගුණදායක බව ඔවුන්ගේ අදහසය. රුවල් නැව් 500 සිට 45, 000 දක්වා ඇත. මීට අමතරව චිත්‍ර බොහෝමයක් ඇත. මේවායෙන් විවිධ ගුණ පෙන්වා දේ. මේ එවැනි අපූරු චිත්‍ර කිහිපයකි.
බබලා 100 දෙනාගේ චිත්‍රය
මෙම චිත්‍රයට නිරෝගී දඟකාර සුරතල් ලස්සන බබාලා 100 දෙනකු ඇතුළත්ය. දරුවන් නැති විවාහකයන්ට මේ රූපය නිදන කාමරයේ එල්ලීම ප්‍රමාණවත්ය. අපේක්ෂාව පුතකු නම් පින්තූර ඊශාන දිශාවට ඇති බිත්තියේ එල්ලිය යුතුය. දුවකු අවශ්‍ය නම් බස්නාහිරට මූණලා බිත්තියේ එල්ලිය යුතුය. දරුවකු ලැබුණු පසු තවත් දරුවකු අවැසි නම් එය බිත්තියේ තැබිය යුතුය. අවශ්‍ය ප්‍රමාණයෙන් පසු එය ගැලවිය යුතුය. මන්ද ළමුන් ලැබීමේ කෙළවරක් නැතිවිය හැකි බැවිනි. මේ ඔවුන් ඒ රූපය ගැන හඳුන්වා දෙන හැටිය. රූපය, රු. 500 කි.
අශ්ව රූපය
අශ්වයන් සමූහයකි. රැකියාවේ තරගකාරී බවට කදිම බව පැවසේ. නිවසේ දකුණු දිශාවේ හෝ ඔෆිස් කාමරයේ දකුණු දිශාවේ ඇලවිය යුතුය. සියල්ල සාර්ථක වේ. මිල රු. 300 කි. මීට අමතරව යන්ත්‍ර මහ ගොඩකි. ඒවා දිගින් දිගට විස්තර කිරීමද විගඩමකි. එහෙත් කිහිපයක් මෙසේය.
Protection Amulet යන්තරය මෙය කුඩා ස්ටිකරයක් බඳුය. මෙය දොරේ ඇල වූ විට කිසිදු සොර සතුරෙක් ඇතුළු නොවේ. මිල රු. 300 කි.
Legal Appealing Amulet යන්තරය
මෙය සාක්කුවේ දමාගෙන ගිය විට පොලීසියේ සහ උසාවියේ ප්‍රශ්න විසඳේ. මෙය දමාගෙන උසාවියට ගිය විට ඔහුට විරුද්ධ නීතිඥයා කටවත් නොඇරි බව අත්දැකීමකින් පෙන්වා දේ. මිල රු. 300 කි.
වාහන ආරක්ෂක යන්තරය
වාහනය පිටුපස ඇලවිය යුතුය. උපරිම ආරක්ෂාව සැපයේ. මිල රු. 200 කි. ටයිගර් අයි බේස්ලට් මෙය පැළඳීමෙන් අධ්‍යාපනය සාර්ථක වී දියුණුව ලැබේ. මිල රු. 350 කි. ෆෙංෂුයි රහස්වලින් ඇරඹි මේ ව්‍යාපාරය මේ වන විට ඉන්දීය යන්තර අලෙවිය දක්වා වැඩි වී ඇත. මේ එවැනි යන්තරය. වාහන දුර්ගට්නා යන්තරය වාහන අනතුරු වළකයි. යන්තරය වාහනයේ රැඳවිය යුතුයි. මිල රු. 1000 යි. සෂ්තම් ගෝපාල් යන්තරය දරුපල ගෙන දේ. රාතී්‍ර නින්දට පෙර අඹුසැමි යුවළ යන්තරය ඇඳ උඩ තබාගත යුතුය. රු. 1000 කි. ගනේෂ් සිද්ධි යන්තරය සාක්කුවේ දමාගෙන විභාගවලට මුහුණ දිය යුතුය. මිල රු. 1000කි. මහා ලක්ෂ්මි යන්තරය ධනය යහමින් ලැබේ. යන්තරය පූජා ස්ථානයේ තැබිය යුතුය. මිල රු. 1000 කි. ලග්න යෝගී යන්තරය විවාහයක් කර ගැනීමට නොහැකි අය මෙය සාක්කුවේ දමාගෙන යා යුතුය. මිල රු. 1000 කි. මේ ආකාරයට විවිධ කාරණාවලට සැදූ යන්තර මහ ගොඩකි. ඒ හැම එකක්ම රු. 1000 කි. ෆෙංෂුයි මන්ත්‍ර මෙය සීඩී. තැටියකි. උදේ හවා දමා තැබිය යුතුය. වස් දොස් අතුරුදන් වේ.
සීඩී 500 කි
මෙවැනි කාරණා අපමණ පෙන්වා දිය හැකි මුත් මෙය තුට්ටු දෙකේ ප්‍රෝඩාවක් බව තේරුම් ගන්නට මේ ඕනෑතරම්ය. මහන්සියෙන් හම්බ කරගන්නා මුදල් මෙවැනි සිල්ලර වෙළඳෙුන්ට දී මිථ්‍යාවේ ගිලෙනවාද යන්න මෙයට හසු වූ සහ හසුවන්නට මාන බලන සැම සිතිය යුතුය. ෆෙංෂුයි රහස් යනු කළු කඩ වෙළඳොමකි. මාස්ටර්ලා නියම තක්කඩිය. එයට හසු වී මුලා නොවීමේ යන්තරය ඔබ ළඟය. ඔබගේ ගැටලු, ප්‍රශ්න පීඩාවන් පින්තූරයකට, පිළිමයකට, යන්තරයකට, මන්තරයකට විසඳාලිය හැකිද ඔබම කල්පනා කරන්න. ෆෙංෂුයි රහස්වලින් දියුණු වී ඇත්තේ ෆෙංෂුයි මුදලාලි බව නම් අපට රහසක් නොවේ. ෆෙංෂුයි හි රහසක් නැත. රහස ඇත්තේ ඔවුන්ට හසුවන අය තුළය. එනම් නිරන්තරයෙන් රැවටීමේ කලාවය. රහස එයය. ලජ්ජා විය යුතු නැත. ලාෆින් සිනා සෙන්නේ ඒ රැවටෙන්නන්ටය.

©රාවය පුවත්පතේ ටිරන් කුමාර බංගගමආරච්චි ගේ ලිපියකි.

5 comments:

  1. මනස්ගත තමයි.මමත් ගත්තා ඔක. ගත්ත දවසෙම වලියක් දාගේ ග‍ෙම්දෙවස් දෙකක් ඉස්පිරිතාලෙත් හිටියා ඔයි.
    මරැ හස් කම නේද.

    එළ තමයි ලාපින්
    ඔාක් මුල කැල්ල අමින් කරන්න ඔන

    තව ......

    ReplyDelete
  2. ලාෆින් ගෝඩ් හෙවත්
    ලාෆින් බුද්ධාගේ ඇත්ත කතාව

    බුදු දහම මහායාන සහ ථේරවාද යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා. ථේරවාදයේ ප්‍රධාන තැනක්‌ හිමිවන්නේ ගෞතම බුදු රාජාණන් වහන්සේට, මහායානයේ ප්‍රධාන තැන හිමිවන්නේ මතු බුදු වන මෛත්‍රී බෝධිසත්වයන්ට ශ්‍රී ලාංකික අප අදහන ථේරවාද "බුදු දහමේ බුදු රජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් ගැන කියන පන්සිය පනස්‌ ජාතක කතා වගේම මෛත්‍රී බුදුන්ටත් චීන සංස්‌කෘතිය අනුව ගොඩ නැගුණු ජාතක කතා තිබෙනවා. එම ජාතක කතාවක එන බෝසත් චරිතයක්‌ තමයි මේ ලාෆින් ගෝඩ් හෙවත් ලාෆින් බුද්ධා කියන්නේ..

    මෛත්‍රී බෝධි සත්වයන් ඉතාම ප්‍රියමනාපව සහ ආකර්ෂණීය පෞරුෂත්වයකින් යුත් අයෙක්‌ ලෙස චීන සංස්‌කෘතියේ දැක්‌වෙනවා. මෙම රූප ශොභාව නිසාම විවිධාකාරයෙන් කාන්තාවන් සම්බන්ධ ගැටලුවලට මැදිවෙන්නට උන්වහන්සේට සිදුවුණා. එම නිසාම " මා මතු භවයක උසුළු විසුළු පෙනුමක්‌ ඇතිව, නමුත් මාගෙන් පිහිට පතන අයගේ ප්‍රාර්ථනා ඉටුකරදෙන ශක්‌තියක්‌ ද, ඇතිව ඉපදේවා" කියා ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ අනුව තමයි මෛත්‍රී බෝධිසත්වයන් තුළින් ලාෆින් බුද්ධා චරිතය උපත ලබා තිබෙන්නේ.

    ෆෙංෂුයි විෂයෙන් 90% විද්‍යාත්මක පදනමකින් බිහිවූවක්‌. 10% ප්‍රතිශතයක්‌ තමයි ෆෙංෂුයි කලාවට අයිතිවන්නේ. මේ ෆෙංෂුයි කලාවට තියෙන්නේ වසර 450 ත් 500 ත් අතර ඉතිහාසයක්‌. ලාෆින් බුද්ධා ප්‍රතිමාව කරළියට පැමිණෙන්නෙත් මේ වකවානුවේම තමයි. ෆෙංෂුයි සංකේත භාවිතය අයත් වන්නේ ෆෙංෂුයි කලාවට. මේ සංකේත කරලියට පැමිණීමත් සමඟ ලාෆින් බුද්ධා ප්‍රතිමාව ෆෙංෂුයි අනුගාමිකයන් අතර ජනප්‍රිය වුණා.

    චීනයේ උපත ලද ෆෙංෂුයි අද අපේ රටේත් ඉතා ජනප්‍රියයි. ෆෙංෂුයි සංකේත අතර ලාෆින් බුද්ධාට අපේ රටේ තියෙන්නෙත් ඉහළ ඉල්ලුමක්‌.

    මා දැක තිබෙනවා සමහර වෙළඳසැල්වල මෙම ප්‍රතිමාව තියලා. කෙසෙල් ගෙඩි වලට හදුන්කූරු ගසමින් දුම් අල්ලනවා. ඇත්ත වශයෙන්ම කරුණු කාරණා නොදැන මෙවැනි දේ සිදුවන්නේ. පූජා පැවැත්වීම අවශ්‍ය නෑ. නමුත් එය ගරු කටයුතු ප්‍රතිමාවක්‌. ථේරවාදී හෝ වේවා, මහායාන හෝ වේවා බෞද්ධ සංකල්පය මත පදනම්ව ගොඩනැගුණු සංකේතයක්‌. එම නිසා අප මෙය ගරු කටයුතු තැනක තැබිය යුතුයි.

    සමහරු මේ ලාෆින් බුද්ධා ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවට ඉහළින් තබා තිබෙනවා. ෆෙංෂුයිවල කිසිම අවස්‌ථාවක සඳහන් කරලා නෑ එවැනි වත්පිළිsවත් කරන්න කියලා. හැම කෙනෙක්‌ම මුල් තැන දෙන්න ඕනේ තමන් අදහන ආගමට.

    ලාෆින් බුද්ධ ප්‍රතිමාවේ උදරය පිරිමැදීමෙන් ධන වාසනාව ලැබෙනවා කියලා අපේ රටේ ජනතාව අතර මතයක්‌ තියෙනවා. ඒක ජනප්‍රවාදයක්‌ පමණයි. ලොකු උදරයක්‌ තියෙන්නේ රූපය විරූපී නිසයි. ෆෙංෂුයි කලාවට අනුව සෞභාග්‍යය රැදී තියෙන්නේ උදරයේ බව සඳහන් වෙනවා. ඒ නිසා බඩ අත ගෑවා ම මුදල් ලැබෙනවා කියන ආකල්පය යමෙකුට හිතෙන්නට පුළුවන්.

    ඔබ ලාෆින් බුද්ධ ප්‍රතිමාවක්‌ මිලදී ගන්නවා නම් සැලකිය යුතු කාරණාව වන්නේ තමන්ගේ සිතට කාවදින ආකාරයේ ප්‍රසන්න ස්‌වරූපයකින් යුක්‌තද යන්නත් තමන්ගේ ආර්ථිකයටත් ගැළපෙනවාද යන්නයි. නැතුව ඒක හදල තියෙන්නේ ලෝහ වලින්ද , මැටි වලින්ද, උසේ ප්‍රමාණය කොපමණද වගේ කාරණා කිසිවක්‌ වැදගත් වන්නේ නෑ. අනික සෑම ප්‍රතිමාවකම මොකක්‌ හෝ ඉරියව්වක්‌ තිබෙනවා. ඒ නිසා අහවල් ඉරියව්වේ ප්‍රතිමාවක්‌ කියලා විශේෂත්වයකුත් නෑ. තවත් මතයක්‌ තමයි මේ ප්‍රතිමාව තෑගි ලැබුණොත් නියම ප්‍රතිඵලය ලැබෙනවා කියන තර්කය. එයත් ජනප්‍රවාදයක්‌ම පමණයි. එය කොහොම ලැබුණත් ප්‍රතිඵලයේ වෙනසක්‌ නෑ.

    ඔබ සතුව තිබෙන ලාෆින් බුද්ධා විසිත්ත කාමරයේ ප්‍රධාන දොරට මුහුණලා තැබිම ඉතා සුදුසුයි. ප්‍රධාන දොරෙන් නිවස තුළට ගෙන එන හිතකර ශක්‌තිය භාරගන්නට මේ ප්‍රතිමාව සැදී පැහැදී සිටින බව එයින් අදහස්‌ වෙනවා. ඔබට හැකියාවක්‌ තිබේනම් ප්‍රධාන දොර අසලින් ගෙතුළ බලා සිටින අයුරින් තව ප්‍රතිමාවක්‌ තැන්පත් කරන්න. මා පෙර සඳහන් කළ පරිදි ගරු කටයුතු ප්‍රතිමාවක්‌ නිසා තමන්ගේ දණ හිසට වඩා ඉහළ තැනක තැබීම අනිවාර්යයි. අඟල් 33-36 අතර උස වඩාත්ම සුදුසුයි. නාන කාමරය, නිදන කාමරය වැනි ස්‌ථාන වල ලාෆින් බුද්ධා ප්‍රතිමාව තැබීම සුදුසු නැහැ.

    නිවසට පැමිණෙන අයෙකුගේ නෙතට මේ ප්‍රතිමාව දැකීමෙන් ප්‍රසන්න භාවයක්‌ ඔහු තුළ ඇතිවී එමගින් නිවසියන් කෙරෙහි ඔහු තුළ සුහදතාවයන් වර්ධනය වේ. නිතර ඇස ගැටීමෙන් අප තුළ මානසික උත්තේජනය ඇති වීම මේ ප්‍රතිමාව තුළින් අපට ලැබෙන වරප්‍රසාදයකි. නිවසට එන හිතකර ශක්‌තිය රදවා ගැනිමේ හැකියාවක්‌ ඇති නිසා අපට යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමට ලාෆින් බුද්ධා නිවසේ තැබීම සුදුසු බව ෆෙංෂුයි වල සඳහන් වනවා.

    ReplyDelete
  3. බොහොම වැදගත් මාතෘකාවක්.....මේ ගැන ලියවුනු මගේ ලිපියක් ඇත,
    http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html

    ReplyDelete
  4. @MAKELAND PICTURES
    බොහෝම ස්තූතියි මේ ප්‍රතිමාව පිළිබදව දිර්ඝ විස්තරයක් කලාට...
    ඔය තේරවාදි හා මහායන සම්ප්‍රදායන් 02ක් බිහිඋනේ පලමු ධර්ම සන්ගායනාවෙන් පසුව කියලයි මම අහලා තියෙන්නේ. පලමු ධර්ම සන්ගායනාව කරලා තියෙන්නේ උගත් බුද්ධිමත් වයෝවෘධ භික්සුන් වහන්සේලා කොටසක් විසින්.. මෙහිදි මෙම ධර්ම කාරනා ගෑබුරු හා තේරුම් ගෑනිමට අපහසුයි කියලා හිතපු සමහර තරුණ භික්සුන් තමන්ගේ ලෞකික සෑපය පඩනම් කරගෙන ධර්මය ඉදිරියට ගෙනයන්න තිරණය කරලා මේ අය තමයි මහායාන කියන නිකාය ආරම්බ කල අය.... මේ පිළිබද වෑඩිපුර තොරතුරු කේ.ජි කරුණාතිලකයන්ගේ "බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට" කියන පොතේ පෑහෑදිලිව සදහන් වෙනවා.

    @www.prasanna.com
    නියම අත්දෑකිම....

    @ෆැන්ටසි
    ඔබත් නියම ලිපියක් ලියලා තියෙන්නේ

    ReplyDelete
  5. කාලෝචිත වැදගත් ලිපියක් .............

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්