ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday, 23 May 2011

පෝය දින 12 ඇති බෞද්ධාගමික වැදගත්කම


අපි බෞද්ධයන් විදියට හැම මාසේකටම පොහෝය දිනයක් සමරනවා. මෙම දිනය බෞද්ධයන්ට අතිශයින්ම විශේශිත දිනයකි.(සමහර අයට නම් මෙය තවත් එක් නිවාඩු ඩිනයක් පමණි.) ඔබ දැන සිටියාද ඔබ මේ හැම මාසේම සමරන පෝය දින 12 ඇති වැදගත් කම මොනවද කියලා... ඔන්න එහෙනම් දැන ගන්න මේ අපි සමරන පෝය 12 ඇති වැදගත් කම් ටික....
මසකට පෝය දින සතරක් තිබුණ ද එයින් වඩා වැදගත් කොට සලකන්නේ පුර පසළොස්වක පෝය දිනයයි. ගමේ පන්සල හා සම්බන්ධ පින්කම් කටයුතුවල පමණක් නොව දුර බැහැර වැදගත් සිද්ධස්ථාන වන්දනා මාන කරන්නට යන්නේ ද බොහෝ විට පෝය දිනයේදීය. කෙසේ වුවත් සෑම පුර පසළොස්වක පෝය දිනයක්ම බෞද්ධයාට ඉතා වැදගත්ය.

වෙසක් පුර පසළොස්වක පෝයලෝකවාසී සියලු බෞද්ධයිනට අති ශ්‍රේෂ්ඨ දිනය වෙසක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සිදු වූයෙ මෙම පෝය දිනයේදීය. ඊට අමතරව වෙසක් පෝය දින සිදු වූ වැදගත් සිදුවීම්,කිඹුල්වත් නුවර දී සුදොවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේ යමාමහ පෙළහර පෑම,බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ දී තුන්වන වරට බුදුරජාණන් වහන්සේ ලක්දිව කැළණියට වැඩම කිරීම.විජය ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට ගොඩබැසීම,රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීීම් කටයුතු නැකතට ආරම්භ කිරීම.බෞද්ධ අපට අතිශය වැදගත් වන්දනාව වූ සිරිපා වන්දනාවේ යෙදෙන අවසාන පෝයත් වෙසක් පෝය දිනයයි. මීට අමතරව කැලණියට හා අනුරාධපුරයට වන්දනාවේ යාමත් මෙදිනට සිදු කරනවා.

පොසොන් පුර පසළොස්වක පෝයවෙසක් පෝ දිනය මෙන්ම, ශ‍්‍රී ලාංකික අපට අතිශය වැදගත් පෝය දිනයකි.අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූූත‍්‍රයෙන් දහම් දෙසා ලක්දිව බුදු සසුන ස්ථාපිත කළේ පොසොන් පෝය දිනයේදීය.භණ්ඩුක කුමරු පවිදිවීම හා උපසම්පදාව ලැබීම ද මෙදින සිදු විය.පොසොන් පෝය දිනත් අපේ සැදැහැවතුන් වැඩි වශයෙන්ම වන්දනාමාන කරනු පිණිස යන්නේ අනුරාධපුරයට හා මිහින්තලයටයි.

ඇසළ පුර පසළොස්වක පෝයබෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම,මහාභිනිෂ්ක‍්‍රමණය ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන වැදගත් කරුණු සිදු වූයේ ඇසළ පෝය දිනයි. මීට අමතරව,රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයෙ දී මහා පෙළහර පෑම,කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීමත් ඇසළ පෝය දිනක දී සිදු වී ඇත.අපේ විහාරස්ථානවල වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා පෙර වස් විසීම සිදු කරන්නේත් මෙදිනයි. එමෙන්ම අපට ඉතා වැදගත් සංස්කෘතික උත්සවයක් වැනි වූ මහනුවර දළදා පෙරහරත්, ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.

නිකිණි පුර පසළොස්වක පෝය දිනයආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ.නිකිණි පෝය දා සේරුවිල වන්දනාවේ යාම ද සිදු කෙරේ.

බිනර පෝය වැදගත්වන්නේ මෙහෙණි සසුන ආරම්භවූ පෝයදිනය ලෙසයි. බුදුරජාණන් වහන්සේගේ සුළුමව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය බුදුරදුන්ගෙන් පැවිදි බව තෙවරක් ඉල්ලාද එය ලබාදීමට එකඟ නොවූ හෙයින්, බුදු සසුනේ පැවිදිවූ ආර්ය කුමාරවරු 500කගේ බිරින්දෑවරු සමඟ හිස මුඩු කර කසාවතින් සැරසී බුදුරජාණන් වස්කාලයේ වැඩසිටි කූඨාගාර ශාලාවවෙත පැමිණියෝය.
අග්‍ර උපස්ථායක ආනන්ද හිමියට මෙම පිරිස තම ඉල්ලීම පවසා සිටියෝය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මහාප්‍රජාපතී ගෞතමී තොමෝ පන්සියයක් බිසෝවරුන් පිරිවරා මෙහි පැමිණ බුදුරදුන් වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද නො දෙත් යි අඬ අඬා දොරටුව සමීපයෙහි සිටින්නී ය. ස්වාමීනි, ස්ත්‍රීහු බුද්ධ ශාසනයෙහි අනගාරික වූ පැවිද්ද ලබත් නම් මැනවැයි අයැද සිටියහ.
එම ඉල්ලීමද තෙවරක් ප්‍රතික්ෂේප කර නැවත බලවත් පෙරැත්තය නිසා මහා ප්‍රජාපතී ගෞතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය. මෙහිදී පෙර සිටි බුදුවරුන්ගේ ශ්‍රාවිකාවන් පිළිපැදූ අෂ්ට ගරු ධර්ම මොවුන්ටද අදාල බවට මෙහිදී තීරණයවිය.
බිනර පුර පසළොස්වක පෝයධූතාංග සමාදානය සිදු කිරීම,සේරුවිල වාර්ෂික පිංකම් පැවත්වීම,බිනර පෝය දින වන්දනාකරුවන් විශේෂයෙන්ම වැඳ පුදා ගැනීමට යන්නේ මහියංගණයටයි.

වප් පුර පසළොස්වක පෝයබුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩම කිරීම,මහා පවාරණය සිදු කිරීම,ශ‍්‍රී මහා බෝධි ශාඛාවක් ඉල්ලා අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිව ධර්මාශෝක රජු වෙත පිටත්ව යාම,අරිට්ඨ මහ රහතන් වහන්සේ විසින් ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වැනි කරුණු වප් පුර පසළොස්වක පෝය දින සිදු විය.අපේ බොහෝ විහාරස්ථානවල වස් අවසානයේ දී කඨින චීවර පූජා කිරීම ආරම්භ වන්නේත් මෙම පෝය දිනයේදීයි.

ඉල් පුර පසළොස්වක පෝයලෝකවාසීන්ට සෙත සලසනු වස් ප‍්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවය සඳහා පිටත්ව යාම,අග‍්‍ර ශ‍්‍රාවක සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑම ඉල් පෝය දින සිදු විය.එමෙන්ම කඨින චීවර පූජා කළ හැකි අවසාන පෝයත් ඉල් පෝයයි.

උඳුවප් පුර පසළොස්වක පෝයසංඝමිත්තා මහ රහත් මෙහෙණිය ශ‍්‍රී මහා බෝධි දකුණු ශාකාව ද රැගෙන ලංකාවට වැඩම කරවීම,ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.

දුරුතු පුර පසළොස්වක පෝයබුදුන්වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කොට උරුවෙල් කාශ්‍යාප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම,බුද්ධත්වයෙන් නව වැනි මස බුදුරජාණන්වහන්සේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවේ මහියංගණයට වැඩම කිරීම,සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතු ප‍්‍රදානය කිරීම,කැලණි විහාරයේ වාර්ෂික පෙරහැර ආරම්භවීම හා සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේද දුරුතු පෝය දින සිටයි. දුරුතු පෝය දිනයෙ දී වන්දනාවේ යන සැදැහැවතුන් බොහෝ විට යන්නේ කැලණි විහාරයටයි.

නවම් පුර පසළොස්වක පෝයබුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් අග‍්‍ර ශ‍්‍රාවකයන් වහන්සේලා පත්කර ගැනීම,බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම,භික්ෂූන් වහන්සේට ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කිරීම, බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම නවම් පෝය දා සිදු වූ වැදගත් කරුණුයි.

මැදින් පුර පසළොස්වක පෝයබුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම මැදින් පෝය දින සිදු විය.බක් පුර පසළොස්වක පෝය,බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනයි. චූලෝදර මහෝදර නා රජුන් සමගි කරවීම.

(විශේෂ ස්තුතිය : විසාකා දිසානායක මහත්මියට)

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්

Related Posts Plugin for WordPress, Blogger...